ලාංකිකයන් වශයෙන් බහුතරයක් සිංහල භාෂාව කතා කලද ඒ ඒ ප්‍රදේශ අනුව භාවිත භාෂාවේ වෙනස්කම් දක්නට ලැබේ ඒවාට ප්‍රාදේශීය ව්‍යවහාර යැයි කියනු ලැබේ

උඩරට ජනවහර

1. කලෙන්චි වීයාම=නැතිවීයාම
2.දරාල=ආරම්භය
3.හැල=කුඹුරේ එරෙන තැන
4.කෙම්පහන‍්=ගොවිතැන් කිරීමේදී කෘමීන් මර්ධනය කරන ක්‍රම
5. කඬාඩුව=ඇරලමාර්ගවල කැඩීයනතැන්
6.කොළදිංකරන කාලය=ගොයම් කපන කාලය
7.තොංගල=කෙළවර
8.බෝමුර ඇදීම=කමත ශුද්ධ කිරිම
9. මිනිය කැලේ ගැහීම=භූමීදානය
10.ගොංගැහිල්ල=ගවයන් දැක්කීම
11.කුථිල=මළමිනියකින් නැ‍ෙගන ගඳ
12.අප්පල්ලෙ=කෑම උයන හට්ටි
13.කුඩප්පා/බාලප්පා/හීන් අප්පා=පියාගේ බාල සහෝදරවරු
14.ලොකු අප්පා= පියාගේ වැඩිමහල් සහෝදරවරු
15.අකුල්පන=පොඩිවට්ටි
16.දාගල=මිරිස්ගල
17.බාලම්මා/හීන් අම්මා=මවගේ බාල සහෝදරියන්
18.ලොකු අම්මා= මවගේ වැඩිමහල් සහෝදරියන්
19. ඉයල්ල=අරපිරිමැස්ම
20.අම්මණ්ඩි=මාමණ්ඩි
21.දෙකඩහාල්=හුන්සහල්
22.පන්නෙ=ආහාර පිසිමට ගන්නා තුන පහ
23.මහගෙදර ඇත්තො=ස්වාමිපුරුෂයා



ධීවර ජන වහර

ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.
1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී.
2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලා ගැනීමට භාවිතා කරයි.
3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.
4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි.
5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත.
6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍ය ඒ ඒ නගර සඳහා ප්‍රවාහනයට භාවිතා විය.
7. බොහොට්ටු / බෝට්ටු - යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී. ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ.
ජාකොල්ලෝ (කෙලවල්ලන්),
කිරිබන්ඩා (සූඩයන්),
තල්අතුකාරයා (තලපතා),
හොඩකාරයා (කොප්පරා),
වට්ටිකාරයා (මඩුවා),
මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා),
සුරුට්ටුව / මදින්නා (මෝරා)
ධීවර ජන වහරෙන් බස් වහරට එකතු වූ අපූරු ප්‍රස්තා පිරුළු බොහොමයක් ද වේ.
ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
සාධාරණ බතට අසාධාරණ හාල්මැස්සෙක් නැතිව බැරි බව (කිසිවකු ප්‍රතික්ෂේප නොකොට කාගේත් සහයෝගය අවශ්‍ය බව)
ගොයියගේ බතට උඩින් කොවුලගේ මාළු කෑල්ල තියන්න ඕනෑලු (එකිනෙකා අභිබවා නැඟී සිටීමට උත්සාහ කිරීම)
ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි (ජීවත්වීම හෝ නොවීම එක හා සමානව පිළිගැනීම)
කරා හාද කන් ඔරු ගොඩ වෙනකම් (වාසියේදී පමණක් හිතවත් කම් අනවශ්‍ය බව)
හී හාද්දී බලන්නේ නව පොළයි.රුවල් ඔරුවක් දුවනකොට දහ පොළක් බලන්න ඕනලු (වෘත්තීය, තත්ත්වය, ගෞරවයෙන් සැලකීම)



. උදය කාලය හැඳින්වීම සඳහා මොනරාගල භාවිතා වන්නේ,
”ඇටි කුකුළා බුග්ගහන වෙලාව“ වශයෙනි. එය ම දකුණු පළාතේදී,
”කළු කපා එළිය”
යනුවෙන් ද එය ඇතැම් පළාත්වල “කළුව“ යනුවෙන්ද, “උන්දැ පාං කළුවෙන්ම ආවා” යනුවෙන් ඇතැම් පළාත්වල ද ව්‍යවහාර වන අතර එය “උදෑහන” යනුවෙන් බොහෝ පළාත්වල ව්‍යවහාර වේ.
මධ්‍යහ්නය හැඳින්වීමට ඇතැම් පළාත්වල විශේෂිත වූ ව්‍යවහාරයන් දක්නට ලැබේ. ඒ අතර විශේෂයෙන් දකුණු පළාතේදී,
”හිටි පියවර”
යනුවෙන් හා ගිනි මද්දහනේ යන්න හරියට ම දවල් දොළහ හැඳින්වීමට ද යොදන වදනකි.
හැන්දෑවට ඉර බැහැගෙන යන වෙලාව බොහෝ විට හඳුන්වන්නේ
”රාස්සිගේ අව්ව වැටෙන වෙලාව“ යනුවෙනි. එමෙන් ම එය මොනරාගලදී, “ඉරගල වැටෙනවා” යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ පළාත්වල එය,
”ගොම්මන් වෙලාව“ වශයෙන් ද හඳුන්වයි.
රාත්‍රියේ පවතින දැඩි කළුවර “තිත්ත කළුවර හෝ ඇට්ට කළුවර” වෙයි. මේ අන්දමින් මැදියම හැඳින්වීමට ද විවිධ පද භාවිතා වේ. “දෙරූ මැද, දෙකට දෙමන්දන් වෙලාව“ යන්නෙන් මෙන් ම “යක්කු ගස් යන වෙලාව“ වශයෙන් හඳුන්වන්නේ ද එයයි.
පුද්ගලයන් හැඳීන්වීම සඳහාත්, දිවි මගේ එක් එක් අවධිය හැඳින්වීම සඳහාත් යෙදෙන දේශීය ව්‍යවහාරයන් වේ. කුඩා දැරියක් හැඳින්වීමට බොහෝ පළාත්වල “කෙළී” යන්න යොදා ගනී. ආදි වාසීන්ගේ බසට අනුව හොඳට ඇහැට කණට පෙනෙන යුවතියක් හඳුන්වන්නේ,
”කිරිලෝබ කැකුළිය” වශයෙනි.
දිගාමඩුල්ල පැත්තේ මේ සඳහා යොදන ව්‍යවහාරය වන්නේ,
”කෙළා” යනුවෙනි.
එමෙන්ම හුරුලුගම් වැට පලාතේ දී “කිඩැල්ල” යනුවෙන් ද භාවිතා වේ. දකුණු පළාතේ දී හොඳට ඇහැට කණට පෙනෙන යුවතිය,
”ගිනි කිකිළිය” යනුවෙන්ද,
උඩරට පළාතේ දී ඇය,
”අංග පුලාව“ නමින් ද හඳුන්වයි.
කාන්තාව හැඳින්වීමට විවිධ ප්‍රාදේශික වචන මාලාවක් ඇත. එනම්, “මායියා” යනුවෙන් ද ග්‍රාමීය කාන්තාව හඳුන්වයි.
මොනරාගල ප්‍රදේශයේදී වයසක කාන්තාව හඳුන්වන්නේ “බූඩී” යනුවෙනි. ඒ පළාතේදී “මේ බූඩියො කොහෙද යන්නේ” යනුවෙන් ගෞරවාර්ථයෙන් භාවිතා වන ව්‍යවහාරයන් ය.
කෘෂිකාර්මික වදන් භාවිතයේදී දිගාමඩුලු පළාතේ අහස් දියෙන් වගා කරන කොටස, “මුම්මාර” නම් වේ. ගං හෝ වැව් දියෙන් වගා කරන කොටස “මානාවර” නම් වේ. ප්‍රමාණයෙන් කුඩා කුඹුරු “වගල කනටිය” නමින් හඳුන්වයි.
එමෙන්ම දකුණු පළාතේ දී හරකුන් නැතිව කුඹුරු හෑම හඳුන්වන්නේ “පුරන් කෙටීම” ලෙසිනි. උඩරට පළාතේදී එය“බිං නැගුම” නමින් හඳුන්වයි. දිගාමඬුල්ල පළාතේ කුඹුරු හිමියාට ලැබෙන අස්වනු කොටස “මුත්තෙට්ටුව“ නම් වෙයි. මාතර, හම්බන්තොට පළාත් වල දී වැඩකරන අයට දෙන අස්වැන්න හඳුන්වන්නේ “වලහං දීම” යනුවෙනි.
පැරැණි කාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ හේන් ගොවිතැනයි. හේන් ගොවිතැන් කරන විට කටු ආදියෙන් පරිස්සම් වීම සඳහා යොදන පාවහන් හුරුළුගම් වැට පළාතේ හඳුන්වන්නේ “වාං පතුල්” යනුවෙනි.
”ඔය හරියේ අන්දර කටු බොහෝම. මේ වං පතුල් දෙක දාගෙන පලයල්ලා” යනුවෙන් ඒ පළාතේ ව්‍යවහාර වේ.
දකුණු පළාතේදී “පිපිඤ්ඤා” යනුවෙන් හඳුන්වන එළවළු වර්ගය මොනරාගළ හා හම්බන්තොට වගා බිම් වලදී හඳුන්වන්නේ “තියඹරා” යනුවෙනි.
කෙසෙල් වගාවේදී ද විවිධාකාර වූ ප්‍රාදේශික ව්‍යවහාරයන් භාවිතා වේ. දිගාමඬුලු ප්‍රදේශයේදී කෙහෙල් කැන් හඳුන්වන්නේ “වතුකැට” ලෙසිනි. රොඩි රැහේදී කෙසෙල් කැන් හඳුන්වන්නේ “පබ්බුරුකැට” යනුවෙනි. කෙසෙල් කොළය ගින්නෙන් රත් කළ විට එය “පන් කොළේ” නම් වෙයි.
මුහුදුබඩ පළාත්වල ද එකී පළාත් වලට ම ආවේණික වන්නා වූ ප්‍රාදේශික ව්‍යවහාරයන් දක්නට ලැබේ. එනම්,
මසුන් අල්ලන්නට නොයන කාලය “වාරකන්” නම් වෙයි. කාලගුණය හැඳින්වීමට, “ඉරක්කුව“ යනුවෙන් සුවිශේෂී වූ වදනක් භාවිතා වන අතර ම, මුහුදු ගමනේදී එහි ධීවර නායකයා හඳුන්වන්නේ,
”මරක්කලාහේ” යනුවෙනි.
ප්‍රාදේශීය ව්‍යවහාරයන් යෙදෙන්නේ එබඳු වූ පොදු ව්‍යවහාරයන් සඳහා ම පමණක් නොවේ. එක ම පදය සඳහා ප්‍රාදේශීය ව යෙදෙන විවිධ අර්ථ බොහොමයක් දක්නට ලැබේ.
උඩරට පළාතේ “අම්මණ්ඩි” යන්න යෙදෙන්නේ “මාමාට ය.” එහෙත් එය දකුණු පළාතේ ව්‍යවහාර වන්නේ සිය“මෑණියන්ට ය.” එවිට ඒ විවිධාර්ථවත් බව සපුරා ම වෙනස් ස්වරූපයක් ගනී.
”තාන්තුව“ යන්නද එබඳු ම වූ වචනයකි. උඩරටදී තාන්තුව යනු “සුබ මංගල්ල” යයි එහෙත් එය පහතරට දී ඊට සපුරාම වෙනස් වූ අර්ථයකට හිමිකම් කියයි. එනම් “විවිධ රෝග, දුක සංකාව, කාන්සිය” වැනි දුක්ඛදායී තේරුමකට අදාළ වේ.
කේන්ති ආ විට උඩරටදී භාවිතා වන්නේ “අඩේ, අඩා, පන්නඩේ” යනුවෙන් ය. එය දකුණු පළාතේදී “තරහ ගියා”යනුවෙන් භාවිතා වේ.
උඩරටදී කුමක් හෝ “කියෙව්වා” යනුවෙන් භාවිතා වන විට එය ම පහතරටදී “කීවා” යනුවෙන් භාවිතා වේ.
ධ්වනිය මතුකරන ආකාරයෙන් එසේත් නැතිනම් උච්චාරණ ශෛලියෙන්ද ප්‍රදේශීය ව්‍යවහාර විවිධාකාර වේ.
දකුණු පළාතේදී ප්‍රශ්නයක් ඇසීමට,
”මක්කටෙයි”, “අර මක්කටෙයි” යනාදී වශයෙන් ව්‍යවහාර වේ.
කතාබහ කිරීමේදී,
”මක්කටෙයි හිටපු තැනට ආපහු යන්නේ” යනුවෙන් ප්‍රශ්න කරනු දකුණු පළාතේ දැකිය හැකි ය.
සමහර පළාත්වල “මොකෝ” යනුවෙන් ව්‍යවහාර වේ.
අම්පාර, බිබිල වැනි ප්‍රදේශ වල “ද” යෙදෙන්නේ බොහෝ අඩුවෙනි. ඔවුන්,
”නෑවා”, “කෑවා”, “බීවා” යනුවෙන් ප්‍රශ්නාර්ථ නගයි. දකුණු පළාතේ දී එය ම,
”නෑවද?”, “කෑවද?”, “බීවද?” යනුවෙන් “ද” යොදා ප්‍රශ්නය ගොඩනඟයි.
බස්නාහිර පළාතේ දී පොල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී,
”පොල් ලෙලිගැහුවද?” යනුවෙන් ප්‍රශ්න කළද, දකුණු පළාතේදී එය, “පොල් ඔයනවද?” යනුවෙන් ව්‍යවහාර වේ.
එමෙන් ම මධ්‍යම පළාතේදී “ඇන්න” යනුවෙන් ව්‍යවහාර වන පදය ම බස්නාහිර හා දකුණු පළාතේදී “අරන්” යනුවෙන් ව්‍යවහාර වේ.
බස්නාහිර පළාතේදී ගෙදර පොඩි ම සාමාජිකයා හැඳින්වීමට “පුංචි” යනුවෙන් ව්‍යවහාර වේ. එය ම මධ්‍යම පළාතේදී“පිංචි” යනුවෙන්ද දකුණු පළාතේදී එයම, “හින්නි” යනුවෙන් ද ව්‍යවහාර වේ.
දකුණු පළාතේ දී, “හින්නි හාමිනේ කොයිබ යන්නේ” යනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් දැකිය හැකි ය.
මධ්‍යම පළාතේදී කුමක් හෝ දෙයක් කිරීමට ඇති හැකියාව,
”පුළුවනි”
යනුවෙන් ව්‍යවහාර වුවද දකුණු පළාතේදී එය ම,
”ඇහැකි”
යනුවෙන් ව්‍යවහාර වේ.
උතුරු මැද, මොනරාගල වැනි ප්‍රදේශ වල බස්නාහිර, මධ්‍යම, දකුණු යන ප්‍රදේශ වලට වඩා වෙනස් වූ ව්‍යවහාර යොදාගන්නා බව,
”අඹනවා”
වැනි ව්‍යවහාර වලින් ප්‍රත්‍යක්‍ෂ වේ. බස්නාහිර, දකුණු, මධ්‍යම පළාත්වල “අඹනවා” යන්නෙන් අදහස් කරන්නේ පිළිමයක් වැනි දෙයක් නිර්මාණය කළ හැකි වීම වුවද මොනරාගල, උතුරු මැද වැනි ප්‍රදේශවල ඉන් අදහස් කෙරෙනුයේ සතකු පළවා හැරීම ය.
”සකලයො අඹනවා”
යනුවෙන් කුරුල්ලන් එලවනවා යන්න අදහස් වේ.
එපමණක් නොවේ,
එක ම භාෂා සමාජය තුළ පවතින මේ විවිධතාවය ශබ්දමය, ව්‍යාකරණමය හෝ වචන කෝෂයම විය හැකිය.
ශබ්දමය විෂමතාවය සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලි ව දිස්වන වෙනස්කම් කිහිපයක් විද්‍යමාන වේ. එනම්,
බස්නාහිර පළාතේදී “ගන්ඩ” යනුවෙන් උච්චාරණය වන වචනය මධ්‍යම පළාතේදී “ගන්ට” යනුවෙන්ද දකුණු පළාතේදී “ගන්න” යනුවෙන්ද ව්‍යවහාර වනු දැකිය හැකි ය.
ශබ්ද විෂමතාවයේදී ව්‍යාකරණමය විවිධතාවද අප සැලකිල්ලට ලක්වන තවත් අංශයකි.
මධ්‍යම පළාතේදී පියාට ව්‍යවහාර වන්නේ “අප්පච්චී” යනුවෙන් වුවද පහතරට දී එය “තාත්තා” යනුවෙන් ව්‍යවහාර වේ. එමෙන්ම මධ්‍යම පළාතේ දී “මොනවා” යනුවෙන් ව්‍යවහාරික වචනය පහතරටදී “මක්කැයි” යනුවෙන් විවිධාණුකරණය වේ. එමෙන්ම මධ්‍යම පළාතේ දී “කථා කරනවා” යනුවෙන් ව්‍යවහාර වන වචනය පහතරටදී “දොඩනවා” යනුවෙන් ව්‍යවහාර වේ